කෙළි සෙල්ලම්
හුඟක් රටවල්වල විවාදයක් තියෙනවා ක්රීඩා, විශේෂයෙන්ම සංවිහිත කංඩායම් ක්රීඩා, සංස්කෘතියේ කොටසක් ලෙස පිලිගැනීම සුදුසුදැයි කියා. දෙපැත්තටම බලවත් තර්ක ඉදිරිපත් කළත් විවාදය දිගටම පවතින බවට ලකුණු පැහැදිලිවම පෙනෙන්න තියෙනවා. මෙම විවාදය තර්කයෙන් හෝ රජයේ මැදිහත්වීමකින් විසඳිය නොහැකි බව මගේ හැඟීමයි. ඒ නිසාමයි මම ගෝනියාවේ ක්රීඩා තරඟ ගැන යමක්සොයා බැලීමට තීරණය කළේ.
මම කවදාවත් ක්රීඩාවට දක්ශ කෙනෙක් නෙවෙයි. ක්රිකට් නැරඹීම හැර වෙන ක්රීඩාවට සම්බන්ද කිසිම දෙයක් මම “කැමැත්තෙන් කරන දේවල්” ලයිස්තුවට අයිති නෑ. ගෝනියාවේ වඩාම ජනප්රිය පාපන්දු නිසා මම තීරණය කළා පාපන්දු තරඟයක් නරඹන්න. එනිසාමයි මම සෙනසුරාදා හවස ජාතික ක්රීඩාංගණයට ගියේ.
විශ්වවිද්යාලයෙන් කිලෝ මීටර හතරක් පමණ ඈතින් පිහිටි ක්රීඩාංගණේට පයින් යන්න තීරණය කළේ එදින වැඩිපුර උනුසුම් නැති පැහැබර දවසක් වීමත් කාලයකින් විනාඩි දහ පහලවකට වැඩිය එක දිගට පයින් ගමනක් ගිහින් නොසිටීමත් නිසයි. නමුත් මගදී චක්රමාන මහතා හමුවීමෙන් ඇතිවූ ගවේෂණයට අදාල සාකච්චාවක් නිසා මම ක්රීඩාංගණේට පිවිසෙනකොට තරඟයෙන් භාගයක් අවසානවී තිබුනා.
මේ ක්රීඩාංගණය විශාලයි - ලංකාවේ ජාත්යාන්තර තරඟ පවත්වන ක්රිකට් පිටියක් තරම් විශාලයි. නමුත් මගේ ඉන්ද්රීයන් නොමැකෙනසේ සටහන් කළේ පිටියේ විශාලත්වයට වඩා රැස්වී සිටි සෙනඟේ තදබදයත් ඔවුන්ගේ කන් දෙදරවන ඔල්වර හඬත්ය. මේ තරඟය ගැන මම ලියන පලමුවෙනි සටහන ගෝනියානුවන්ගේ ඉමහත් ක්රීඩා ළැදියාව පිලිබඳව වියයුතු බව මම ඒ වෙලාවෙම සිතාගත්තා.
පිටියේ සිටි කංඩායම් දෙකේ නම් නොදැන සිටි මා ඔවුන් හිතෙන් හැඳුන්වූයේ ඔවුන්ගේ නිල ඇඳුමේ පාට අනුව කහ-කොළ සහ රතු-සුදු යනුවෙනුයි. අනික් රටවල්වල මෙන් තමාගේ කංඩායමේ පාට ඇඳුම් හැඳගෙන ක්රීඩා නැරඹීමට එන සිරිත ගෝනියාවේ නැතිබව පැහැදිලිවම පෙනෙන්න තිබුනා. කොයිතරම් පිටියේ සිදුවන ක්රීඩාවේ ඇලී ගිලී සිටියත් ප්රේක්ශකයෝ තම ඇඳුමෙන් එක කංඩායමකට නැඹුරුවක් පෙන්වූයේ නෑ. මේ නිසා කහ-කොළ/රතු-සුදු ඇඳුම් හෝ කොඩි පෙනෙන්න තිබුනෙ නෑ.. පිටියට ඇතුල්වී සුළු වේලාවකින් මේ බව අවබෝධ වුනත් ඒ වෙලාවේ මම මේ විෂමතාව ගැන දුර දිගට සිතුවෙ නෑ. නමුත් විනාඩි දහයක් තරඟය නැරඹීමෙන් පසු මා පුදුමයට පත්කරන තව යමක් අවබෝධ උනා. ඒ නම් ප්රේකශකයෝ ඇඳුමෙන් වගේම ඔල්වර හඬින්වත් අත්පොලසන් වලින්වත් එකම කංඩායමකට පමනක් පක්ෂපාත බවක් නොපෙන්වීමයි.
ලංකාවේ මා දුටු සෑම ක්රීඩා තරඟයකම නරඹන්නෝ අතරින් බහුතරයක් කංඩායම් දෙකෙන් එකකට තම ඇල්ම/සහය පෙන්වුවා. මේ සහය උත්සන්නවී පෙනුනේ ‘තම’ කංඩායම හෝ ‘තම’ කංඩායමේ ක්රීඩකයෙක් ඉතා දක්ශ ලෙස යමක් ඉටු කළ අවස්ථාවකදියි. ක්රිකට් ක්රීඩාවේදී හයේ පහරක් ගැසූවිට හෝ විකට්ටුවක් වැටුනවිට, පාපන්දු හෝ හොකී තරගයක ගෝලයක් ලබා ගැනීම වැනි අවස්තාවකදී අත්පොලසන්/ඔල්වර විශාල වශයෙන් ආවේ එම කංඩායමේ සහය කරුවන්ගෙනුයි. එවැනි හැසිරීම මට හොඳින්ම පුරුදුයි.
නමුත් එවැනි හැසිරීමක් අද තරඟයේ ප්රේක්ශකයෝ අතර තිබුනෙ නෑ.
දුටුදේ සනාථ කරන්න මම එක ලඟින් වාඩිවී සිටි දෙසීයක් පමන ප්රේක්ශක්යෝ කොටසක් දිහා පරීක්ෂාවෙන් බලා සිටියා. මා දුටුවේ ගෝලයක් ලබා ගත් සෑම අවස්ථාවකමත්, ඈත සිටින ක්රීඩකයෙකු වෙත බෝලය නිවැරදිව යොමුකිරීමකදිත්, දක්ශ ලෙස විරුද්ධ කංඩායමෙන් බෝලය උදුරා ගැනීමෙදිත් ඔවුන්ගේ අත්පොලසන්/ඔල්වරහඬ උත්සන්නවූයේ ඒ ක්රියාව කොයි කංඩායමෙන් සිදුවූවාදැයි නොතකමිනුයි. අංතිමට මම තරඟයට වඩා ප්රේක්ෂකයෝ නැරඹීමෙන් සතුටක් ලැබුවේ එය මගේ අද්යාපනයට වැදගත් බව වැටහුන නිසයි.
පිටියේදී ලකුනු පුවරුවක් නොදුටු මම තරඟය අවසන්වී ක්රීඩාංගණයෙන් පිටවී ආවේ ජයග්රාහිකයෝ කහ-කොළද රතු-සුදුද නොදැනයි.
“හේ… උපාලී…”
මේ සද්දය ආවේ ක්රීඩාංගණය ඉදිරිපිට බස් නැවතුම්පොලේ සෑදී තිබුන දිග පෝලිමෙනුයි. පරීක්ෂාවෙන් බලා පෝලිමේ අග කොනට කිට්ටුව සිටි මගේ මිත්ර සුනිල් හඳුනා ගැනීම මට අමාරුවුනේ නෑ. මම සුනිල්ගේ දිහාට ගියා.
“හලෝ සුනිල්! මැච් එක බැලුවා?”
“ශඃ! නියම මැච් එක. උපාලී දැක්කා නේද?”
පාපන්දු ගැන මගෙ නොදැනුම ප්රසිද්දියේ පෙන්වන්න මම අකැමතියි. ඒ නිසා කතාව ඉක්මනින් වෙන අතකට හැරෙවුවා.
“ඔව්… මම මේ පයින් යුනිවසිටි යන්න කියලා … සුනිල් ගෙදරද යන්නේ?”
“නෑ…. මම ටවුමේ යාළුවෝ කීප දෙනෙක් හම්බවෙන්න වචනේ දීලා තියෙන්නේ… ඇයි මාත් එක්ක එන්නෙ නැත්තේ, ? උපාලී විකී එහෙම දන්නවා නේද?”
“මොකද්ද පාටියක්ද?”
“නෑ….. අපෙ පරන පුරුද්දක් - ලොකු මැච් එකකට පස්සේ පැයක් දෙකක් කයිවාරු ගහන එක… ඉස්කෝලේ යන කාලේ පටන්ගත්තේ….”
“තැන්ක් යූ ….මං බලන්නම්…. හැබැයි ඉස්සරවෙලා යුනිවසිටි ගිහින් ටිකක් පිරිසිදු වෙලා තමා එන්න වෙන්නේ…. කොහෙද මුනගැහෙන්නේ?”
මම ඊට පැයකුත් විනාඩි දහයකට පස්සේ සුනිල්ලා හමුවෙන්න ගියේ මගේ සටහන් පොතකුත් අරගෙනයි - සමාජ පිළිබඳ ගවේෂකයන්ට නිවාඩුවක් නැති බව මම දන්නවා.
…………………….
හෝටලේ එකතුවී සිටි කොල්ලෝ දහයක් විතර කංඩායමෙන් සුනිලුයි විකියි ඇරුනකොට මා දන්න තව කෙනෙක් එතන හිටියා. ඒ මාව පලවෙනි දවසේ ගුවන් තොටුපොලේදී හමුවුන අමී මේ කංඩායමට කොහොම සම්බංදවුනාදයි හිතා ගන්න අමාරුයි. ඒ පළවෙනි මුනගැසීමෙන් පස්සේ මම විශ්වවිද්යාලේවත් නගරයේවත් අමී හනුවුනේ නෑ.
“හලෝ අමී…. කාලෙකට පස්සේ!”
“හේ උපාලී …. කොහොමද ගවේෂණ වැඩ කටයුතු? මං ඇවිත් උපාලිව හමුවෙන්න කීප සැරයක් හිතුවත් ඒක සිද්දවුනේ නෑ”
සුනිල් ඊලඟට කතාවට එක්වුනේ ප්රශ්නයකුත් එක්කයි.
“සන්තෝසයි උපාලිට එන්න පුළුවන්වුනාට. මේ මගෙ ඉස්කෝලේ යාළුවෝ … උපාලී කොහොමද අමීව දන්නේ?”
“අමී තමා මම ගෝනියාවේ ආපු දවසේ මා හමුවෙන්න එයාපෝට් ආවේ - මට ඉස්සරවෙලාම කතා කරපු, උදව් කරපු ගෝනියානුවා!”
සුනිල් මේසේ වටා හිටපු අනිකුන්ට මා හඳුන්වා දුන්නේ පළමුව මට බීර වීදුරුවක් ඕඩර් කරලයි.
“මේ උපාලී - ශ්රී ලංකාවෙන්, දැන් අපෙ නේවාසිකාගාරෙයි ඉන්නේ. මෙහෙ ඇවිත් අපෙ රට ගැන ගවේෂණයක් කරනවා. ඒ කියන්නේ උපාලිත් එක්ක කතා කරනකොට ටිකක් පරිස්සමෙන් - කියන දේ අන්තිමට ප්රොජෙක්ට් රිපෝට් එකේ තියෙයි!”
එක් එක්කෙනා හඳුනා ගැනීමට ටිකක් වෙලා ගියා. සුනිල්ගෙ සමහර යාළුවෝ විශ්වවිද්යාලේ, සමහරු රස්සා කරනවා. වැදගත් පාපන්දු තරඟයකට පස්සේ මුනගැසීම පසුගිය අවුරුදු හත අටක් සිද්ද වෙනවා. දැනට රස්සා කරන අයත් ඉඳීමෙන් පෙනෙන්නේ මේ රැස්වීම සමහරවිට අනාගතේටත් සිද්ධවෙයි - තවම ඉගෙනගන්න අය රස්සා වලට ගිය පසුත්.
අද තරඟය මේ සියළුදෙනාම නැරැඹූ බව පැහැදිලිවම පෙනෙන්න තිබුනා. ඒ නිසා කතාව සම්පූර්නෙන්ම වගේ ඒ තරඟය ගැන වීම පුදුමයක් නොවෙයි. නමුත් ඔවුන්ට තරඟයේ සෑම වැදගත් සිදුවීමක්ම පැහැදිලිව සිහිපත් කිරීමට හැකිවීමත් පාපන්දු ක්රීඩාව ගැන ඔවුන් දැක්වූ ගැඹුරු අවබෝධයත් මා පුදුමයට පත්කළා. නමුත් ගෝනියානුවන්ගේ ‘ගෝනි මතක වර්දනය’ නිසා මෙය පුදුමයක් නොවියයුතු බව මට මතක්වුනේ අනතුරුවයි. පාපන්දු ක්රීඩාව හොඳින් නොදත් මගෙන් කතාවට දායකත්වයක් නොලැබුනත් ඔවුන්ගේ සකච්චාව මම අසා සිටියේ හොඳින් පාලනයවූ සමුළුවකට සහබාගී වෙන්නෙකු ලෙසයි.
පාපන්දු ක්රීඩා නීති රීති පද්දතිය සරලයි. එමෙන්ම වටිනා ක්රීඩා ආම්පන්නවත් නිවැරදි පිට්ටෙනි නඩත්තුවටත් වැඩිය පාපන්දු ක්රීඩාවේ වැදගත් වන්නේ ක්රීඩකයන්ගේ නිපුනතාවන් පමනයි. තනි තනි ක්රීඩකයන්ගේ නිපුනතාවන් එක්රැස්කොට වඩවන උපායමාර්ගයන් කංඩායම නිසායි තරඟය ආකර්ෂණීය දර්ශනයක් වෙන්නේ. මේ මගේ නව මිත්රයන් නොසැලී විස්වාශ කරන දෙයක් බව මට පැහැදිලියි. නමුත් මෙතැනදී මට තවම නොකියවුනු දෙයක් සිහියට නැගුනා - ‘තරඟය දිනුවේ කවුද?’ කියා.
“සුනිල්… අ… මම වෙලා ගිහින් මැච් එකට ගියේ… එනකොටවත් දැක්කෙ නෑ කොහෙවත් බෝඩ් එකක අංතිම ප්රතිපලේ දාලා තියෙනවා… කවුද මැච් එක දිනුවේ?”
කතා සද්දේ ටිකින් ටික අඩුවෙලා විනාඩියකින් නැතිවෙලාම ගියා. මගේ අළුත් මිතරයෝ මගෙ ප්රශ්නේ ගැන හිතනවා, කෙලින්ම උත්තරය නොදී.
“මම රිපෝට් එකේ දාන්න නෙවෙයි ඇහුවේ!”
මගෙ පොඩි විහිළුව ඒ අයට නොතේරුනා වගේ. ටිකකින් අමී කතා කළා.
“3-2යි ගෝල් ගනන නම්…. පෙනල්ටි දෙක දෙක … අද දෙපැත්තෙම වැරැදි අඩුයි හයයි - අටයි”
“කහ-කොල ද, රතු-සුදු ද? මං කිව්වේ මොන පාට යුනිෆෝම් ඇඳගෙන හිටපු අයද ගෝල් වැඩිය ගත්තේ?”
“ගෝල් තුනක් ගත්තේ රතු-සුදු යුනිෆෝම් ඇඳපු ටීම් එක”
යම් හේතුවක් නිසා මගෙ ප්රශ්නෙන් සාකච්චා සේරම නැවතුනා වගේ. මැච් එක බලලත් දිනුවේ කවුද නොදන්න මම මෝඩයෙක් කියලා මගෙ අළුත් මිත්රයෝ හිතන්න ඇති!
“මං ඇහුවේ මෝඩ ප්රශ්නයක්ද කියලා මට හිතෙනවා…. මං කොහෙවත් ලකුණු පුවරුවක් දැක්කෙ නැති නිසයි ඇහුවේ…”
මට ආරාධනා කළ නිසා වෙන්න ඇති සුනිල් කතාකළේ.
“උපාලී සාකච්චාවට වැඩිය සහභාගි නොවුනේ පාපන්දු උපාලිගෙ ප්රියතම ක්රීඩාව නොවන නිසා කියලා මම හිතුවේ. ලංකාවේ ක්රිකට් නේද වැඩිපුර ගහන්නේ? ඒත් අපිට තේරුම් ගන්න බැරිවුනේ ඇයි ගෝල් ගනන ඇහුවේ කියලා…”
“දිනුවේ කවුද බලන්න - දිනන්න නේද මැච් එක ගැහුවේ?”
මට පුදුමයි සුනිල්ගෙ ප්රශ්නේ - තරඟයක් දිනුවේ කවුද අහන එක පුදුම වෙන්න හේතුවක්ද?
සුනිල්ගෙ මුහුනේ පොඩි හිනාවක් හෙමින් එලියට ආවා, කන්ද උඩින් හඳ පායනවා වගේ. තව කීප දෙනෙකුත් සුනිල් වගේ හිනාවක් මතුකළා.
“ආ…. මට දැන් තේරෙනවා… උපාලී පාපන්දු වලට වැඩි ලැදිකමක් නැති නිසා අවසාන ප්රතිපලේ විතරයි වැදගත්! සමාවෙන්න අපිට ඒක ඉක්මනට නොතේරුනාට”
“සමාවෙන්න දෙයක් නෑ සුනිල්… අවසාන ප්රතිපලේ නැත්නම් සුනිල්ලා මොනවද බලාපොරොත්තු වෙන්නේ තරඟෙකින්?”
ගෝනියාවට ආවට පස්සේ මට කීප සැරයක් හිතිලා තියෙනවා මෙහෙ මිනිස්සු හිතන්නේ අපිට වඩා බොහොම වෙනස් විදිහට කියලා. දැමුත් ඒ වගේ තත්වයක් තමා උදාවෙලා තියෙන්නේ; ‘මොන ගොනාද ප්රතිපල නොතකා මැච් බලන්නේ?’
“විනෝදයක්…? හොඳ දක්ෂලෙස ක්රීඩාකරන ක්රීඩකයෝ; බුද්ධිමත් නියමුව, ශිෂ්ට සම්පන්න ක්රීඩක හැසිරීම, මධ්යස්ථ විනිශ්චය …. මේ වගේ දේවල් තමා විනෝදය ගෙනදෙන්නේ…. එහෙම නේද?”
“ඒකට අපි බඩු ගන්න කඩේ! අපි මැච් ගහන්නේ දිනන්නමයි! අපෙ පැත්ත දිනුවොත් තමා අපි සන්තෝස වෙන්නේ…. ඒ කියන්නේ සුනිල් කියපු දේ වටින්නෙ නෑ කියලා නෙවෙයි - නමුත් අවසාන ප්රතිපලේ වැදගත්”
ඒකට ප්රතිචාරයක් දුන්නේ අමී.
“මට තේරුම් ගන්න අමාරු දේවල් කීපයක් තියෙනවා මෙතන …. ප්රතිපල නම් වැදගත්, උපාලී ඇයි මැච් බලන්න යන්නේ? රේඩියෝ එකේ අහගන්න තිබුනානේ පරතිපල! තව එකක් … තමාගෙ පැත්ත දිනුවොත් සන්තෝස වෙනවනම් පැරදුනොත් දුක් වෙනවද? ඒ කියන්නේ, හැම තරඟෙම බලන අයගෙන් කොටසක් දුක් වෙනවා - ඒකේ වටිනාකම මොකද්ද?”
මට විශ්වාස කරගන්න අමාරුයි මේ අයගෙ කතාව. ප්රතිපල වැදගත් නෑ! බලන්න යන තරඟවල තමාගෙ කියලා කංඩායමක් නෑ!
“තමාගෙ කියලා කංඩායමක් හිටියොත් තමා තරඟය ප්රීතිමත් වෙන්නේ - එතකොට අපෙ අත්පොළසන්, ප්රීතිඝෝෂා, උද්යෝගමත් කරන සටන්පාට වල ඇත්තටම වටිනාකමක් තියෙනවා! ජීවිතෙත් එහෙමයි - ජීවිතෙත් අපි පැති තෝර ගන්නවා”
සුනිල්ගෙ යාළුවෙක්, එයාගෙ නම මට මතක නෑ, ඊලඟට කතාවට සහභාගිවුනා.
“අපි ජීවිතේ පැති තෝරගන්නේ, දේශපාලන පක්ෂ වගේ, යම්කිසි අරමුණක් ඇතුව; තමංගෙ ප්රතිපත්ති අනුව. ක්රීඩා කංඩායම් දෙකක් අතරෙන් එකක් තෝරගන්නේ මොන ප්රතිපත්ති රැක ගන්නද?”
මේකට හොඳ උත්තරයක් මා ලඟ තිබුනා.
“ඔයා හිතන්නේ එහෙම නම්, ඇයි මෙහෙ ක්රීඩා කංඩායම් තියෙන්නෙ, රතු-සුදු වගේ නිල ඇඳුම් එහෙම එක්ක? ඊට වඩා ලේසි නැද්ද රටේ ඉන්න පාපන්දු ක්රීඩකයෝ නාමලේඛනයකින් තරඟේ තියෙන දවසේ කංඩායම් දෙක තෝර ගත්තනම්? එතකොට පුළුවන් කංඩායම් දෙක සමබර වෙන්න දක්ශ ක්රීඩකයෝ පැති දෙකට බෙදලා, ඉස්තරම් තරඟයක් තියන්න, ඔයාලගෙ ක්රමයට රස විඳින්න!”
සුනිල් කතාකළේ බිම බලාගෙන.
“කරන්න බැරි දෙයක් උපාලී…. රතු-සුදු කංඩායම අපෙ අගමැතියගෙ…. කහ-කොල එක උගෙ බෑනගෙ!”
සුනිල්ට ලජ්ජයි තමා මෙන්ම තමාගේ මිත්රයොත් අවුරුදු ගනනාවක් සුපිරිසිදුයයි සැලකූ ක්රීඩාවට සමහර බලවත් පුද්ගලයන්ගේ ඇති සම්බන්දය පිළිගන්න. මට පෙනුනේ එක මට්ටමක ප්රේක්ෂකයන්ට ක්රීඩාභූමිය සිද්ධස්ථානයක් වුවත් තව මට්ටමකදී එයත් කෙනෙකුගේ පෞද්ගලික වස්තුවක් වියහැකි බවයි.